පසුවදන – මා දුටු රසුමන්දි….
මෙම කතන්දරයට පසුබිම වූ කතාව දැනගැනීමට බොහෝ දෙනා ඉතා කැමැත්තෙන් සිටින බැවින් එය හැකිතාක් කෙටියෙන් මෙසේ ලියා තබමි.
ඒ, මා කතන්දර ලිවීමෙන් ඈත් වී සිටි කලක, එක් සන්ධ්‍යාවකි. කොළඹ නගරයේ රේල් පාරක් අසල මහමඟ රථවාහන තදබදයකි. මම එක් රියක පසුපස අසුනේ වම්පස කවුළුවෙන් ඈත බලා සිටියෙමි. ඒ අසල ජනාකීර්ණ පැල්පත් පේළියකි. ඉන් එක් පැල්පතක් අසල කුඩා ළමුන් පිරිසක් යමක් වටකරගෙන උනන්දුවෙන් සෙල්ලමක් වැනි යමක් කරනු පෙනිණ. ඒ අසලින්, දුඹුරු පැහැ ගැන්වුණු අවුල් වූ කොණ්ඩයක් සහිත කිළිටි නමුත් ඉතාමත් පියකරු මුහුණක් ඇති සිඟිත්තියක් එබී බලනු දුටුවෙමි. අවුරුදු හයක් පමණ වූ ඇය, අහිංසක බයාදු සිනාවකින් සෙල්ලම දෙස බලාසිටි අතර අන් දරුවන්ගෙන් කොන් වී සිටින බවක් පෙනුණි. ඉතා ආශාවෙන් එසේ එබී බලන විටම මා දුටුවේ කණ්ඩායමේ සිටි එක් පිරිමි ළමයෙකු ඇය පසුපසට තල්ලූකර දමන ආකාරයත් ඇය විසිවී බිම ඉන්දවෙන ආකාරයත්ය. එහෙත් ක්ෂණයකින් නැගී සිටි ඇය, වරදක් වූවා නම් සමාව ඉල්ලන්නාක් මෙන් අහිංසකව සිනාසුණාය. එවන් දේ ඇයට හුරුපුරුදු බවක් මිස, කිසිදු දුකක් හෝ කනගාටුවක් ඒ මුහුණෙහි පෙනෙන්න නොවීය. ඒ සමඟම වාහන පෙළ පණගැන්වුණු අතර, ඊළඟ තත්පරයේ එතැනට අත දරුවෙකු වඩාගෙන පැමිණි කාන්තාවක් මෙම සිඟිත්තියට කේන්තියෙන් යමක් කියා අත මිට මොළවා තදින් හිසට ඇන්නාය. ඇගේ හිස පහළට නැමීගිය අතර බියපත් බැල්මකින් නැවතත් අහිංසක ලෙස සිනාසී හා පැටවකු මෙන් පසු පසුට ඇදී යනු යන්තමින් පෙනුණි. ඈත්වෙමින් යන රිය කවුළුවෙන් මා එබී එබී බැලූවද ඇය මොහොතින් නොපෙනී ගියාය.
මට පියවි ලොවට එන්නට මොහොතක් ගතවිය. ඉක්මනින්ම රිය නවත්වන ලෙස රියදුරු මහත්මාගෙන් ඉල්ලා සිටි මම “one-way” වූ එම පාරේ අයිනක නැවතී කුමක් වුණිදැයි කුමක් කරම්දැයි මොහොතක් කල්පනා කළෙමි. ඒ සියල්ල සිදුවූයේ විනාඩි දෙකක් වැනි ඉතා කෙටි කාලයක් තුළදීය. ඉන්පසු මම රියදුරු මහතාට මා දුටු සිද්ධිය කියා, අසල වූ කුඩා කඩයකින් රසකැවිලි ටිකක් ඉක්මනින් රැුගෙන නැවතත් වෙනත් පාරකින් එතැනට පැමිණියෙමි. දැන් තරම් චිත්ත ධෛර්යයක් හෝ එම ප‍්‍රදේශයට ඇතුළුවීමට කිසිදු එඩිතරකමක් එවකට නොවූ මම, රියදුරු මහත්මාට මා දුටු එම නිවාස පෙළ පෙන්වා රසකැවිලි දී ඈ ගැන විස්තරයක් සොයාගෙන එන ලෙස ඉල්ලා සිටියෙමි. එවන් කටයුතුවලට සැමදා නොපැකිලව ඉදිරිපත්වන කාරුණික රියදුරු මහතා ඉතා කැමැත්තෙන් ඉදිරිපත් වූවේය. නමුත් පැයක පමණ කාලයකින් පසු පැල්පත් පේළිය පුරාම සොයා එවැන්නියක සොයාගත නොහැකිව ඔහු හිස් අතින්ම ආපසු පැමිණියේය. නැවත පසුවදාද, ඊටත් පසුවදාද, ඊළඟ සතියේද එසේම සොයා බැලූ නමුත් ඇය ගැන කිසිදු තොරතුරක් ලබාගැනීමට නොහැකි වුණි.
ඈ වෙනුවෙන් කිසිවක් කරගත නොහැකි වූ බැවින් මම එතැන් පටන් දවස පුරා ඈ සිහිපත්වන සෑමවිටම විශාල වරදකාරී හැඟීමකින් පීඩා වින්දෙමි. මා දුටු විනාඩි දෙකක පමණ කෙටි කාලයේදී එතරම් හිරිහැර වින්දේ නම් ඇගේ ජීවිතය කෙතරම් දුක්බර ඇත්දැයි මට නිතර සිහිපත් විය. එතරම් ගැහැට මැද ඈ සිනාසුණු හැටි මට දරාගත නොහැකි විය. කිසිවෙකුගේ ආදරයක් නොලබා, ඇනුම් බැණුම් මැද, ඒ සිඟිත්තියගේ දවස කෙසේ ගෙවෙනු ඇත්දැයි මගේ මනසේ වේදනාකාරී ලෙස මැවෙන්නට විය. කලක් පුරා කිසිවක් නොලියා සිටි මම මම සැනෙකින් ලියන්නට පටන් ගත්තෙමි. කෙසේ, කුමක් ලියන්නදැයි හරි අදහසක් මුලින් නොවුණද ගංගාවක් මෙන් දින 3ක් පුරා කඳුළු මැදින් ලියැවුණු එය ”රසුමන්දි” විය. එය ලියූ හැටි වචනයෙන් කීම අපහසුය. වසර ගණනකට පසු පවා රසුමන්දි කියවන විට නළල රිදී වේදනාකාරී ලෙස කඳුළු ගලා එන්නේ ඇයිදැයි අදද නොදනිමි. මගේ කතන්දර අතරින් ”රසුමන්දි” මා වඩාත්ම ආදරය කරන හා වේදනාවට පත්කළ කතාවයි.
කිසිවෙකුගේ ආදරයක් නොලබන, දුක් ගැහැට දරාසිටින, එවන් දරුපැටවුන් මෙලොව කොතරම් ඇත්ද! එහෙත් මිනිසුන්ගේ සිත් දයාවෙන් පිරුණා නම්, එවන් දරුවන් ගැන සානුකම්පිතව සිතන්නට හුරුවූවා නම්, කිසිවෙක් මෙලොව කිසිදු දරුවෙකුට හිංසාවක් නොකරනු ඇත. රසුමන්දි කතන්දරය, එසේ අනෙක් සිත් සානුකම්පිත කරවීමට උපකාරී වේ යැයිද එය කියවූ කිසිවෙක් කිසිදාක එවන් අසරණ දරුවෙකුට හිංසාවක් නොකරතැයිද සිතමින්, මෙලොව කොතැනක හෝ කිසිදු දරු පැටවෙකු අසරණ නොවන සේ සැම සිත් දයාවෙන් කරුණාවෙන් පිරේවායි ප‍්‍රාර්ථනා කරමි!
-ජානකී සූරියආරච්චි