About the Author

About the Author

ජානකී සූරියආරච්චි යනු ළමා වියේදීම සාහිත්‍යකරණයට පිවිසුණු, ප‍්‍රතිභාපූර්ණ, සම්මානනීය ළමා සාහිත්‍ය ලේඛිකාවකි, චිත‍්‍ර ශිල්පිණියකි. විවිධ අංශයන්හි විවිධ දස්කම් දක්වන ඇය වයස අවුරුදු 8දී මුල්ම පොත ලියා ඇති අතර, එතැන් සිට මේ දක්වා සුවහසක් දරුවන්ගේ ආදරයට ලක්වූ කතන්දර පොත් 215 කට අධික ප්‍රමාණයක් ස්වතන්ත‍්‍රව නිර්මාණය කර ඇත. එපමණක් නොව ඇය විසින් නිර්මාණය කරන ලද “පිංචි ඇන්ඞ් ද ඇල්ෆබට්” “සෙල්ලම් පිල්ලම්” වැනි අධ්‍යාපනික චිත‍්‍රපට සහ “සිංදුපීඩියා” වැනි ළමා සජීවීකරණ නිර්මාණද, ළමා ලෝකය යහගුණෙන් චමත්කාරයෙන් පිරවීමට පමණක් නොව, අසීරු ඉගෙනුම් ඉලක්ක ඉතා රසවත්ව ඉක්මණින් ළඟාකර ගැනීමටද ඉමහත් රුකුලක් වී ඇත. බැංකු නිලධාරිණියක ලෙස වෘත්තීය ජීවිතය ආරම්භකළ ඇය පසුව ඉන් ඉවත්ව පූර්ණකාලීනව දරුවන් වෙනුවෙන් නිර්මාණකරණයේ නියැලූණාය.
ඇගේ නිර්මාණ සුවිශේෂ වන්නේ ලිවීමේ හැකියාව නිසාම පමණක් නොවේ. ඇය විවිධ විෂයන්හි තමා ලබා ඇති දැනුම, ඉතා සරල ලෙසත් ඉතා රසවත් ලෙසත් දරුවන්ට ඉදිරිපත් කරන ආකාරය ඉතා අපූරුය. සඳ තරු මල් සමනලූන් සුරංගනාවියන් ගැන පමණක් නොව, තාරකා විද්‍යාව, ග‍්‍රහලෝක, ජලචක‍්‍රය, ප‍්‍රභාසංස්ලේෂණ,ය හරිතාගාර ආචරණය, ආදී නොයෙක් විද්‍යාත්මක සෞඛ්‍යමය හා පාරිසරික සිද්ධාන්තයන්ද ඉතා රසවත් කතන්දර ලෙස ඉදිරිපත් කරයි. උදා; “පිටසක්වල කුමාරයා” “එන්න යන්න හඳ බලන්න” “වැහිළිහිණි පැටියා” “කෝ හඳමාමා” “අච්චාරු හෝටලේ” “පැස්තුඩු යානාව” “කෑම සූත්තරේ” “චූටික්කා පුතා කෝ” ඉන් කිහිපයකි.

“මම පොඩි කාලෙ ඉඳන් ඕනෑම දෙයක් ඉගෙන ගන්න ආසයි, මට ප්‍රයෝජනයක් නැතත් ආසයි. ඒත් දැන් ඒ ඉගෙනගත් දේවල් පුංචියට කතන්දරවලට එකතු කරන්න හැකිවීම මට ලොකු සතුටක්.” ඇය කියයි. 

එපමණක් නොව ළමා මනස විනිවිද දැකීමට ඇය තුළ ඇත්තේ අපූරු හැකියාවකි. ඇය දරුවන්ගේ විවිධාකාර වූ පෞරුෂයන් හා චිත්තවේගයන් ඉතා සියුම් ලෙස හඳුනාගනිමින්, තම නිර්මාණ තුළින් දරුවාගේ මනසට ඉතා සාර්ථකව ආමන්ත්‍රණය කරයි. විශාල පරිකල්පන පරාසයක් තුළ විවිධ තේමා ඔස්සේ ඈ මවන නිර්මාණ තුළින්, පූර්ව ළමාවිය සංවර්ධනයේදී ඉතා වැදගත් වන ආදරය, කරුණාව, වගකීම, වගවීම, චිත්තවේගී බුද්ධි වර්ධනය, සහකම්පනය, යහපත් ආකල්ප, වැනි බොහෝ දේ ඉතා සරල මටසිලූටු භාෂා රටාවකින් කුඩා දරුවන්ගේ සිත් තුළ කලක් පුරා රැඳෙන සේ නිර්මාණය කරයි.

“හොඳ පොතක් කියන්නෙ ලස්සන කතන්දරයක් විතරක්ම නොවෙයි. එය පෝෂණීය ගුණයෙන් අනූන රසවත් ආහාරයක්. එහි චමත්කාරය ගුණාත්මක බව බොහෝ කලක් පුංචි මනසේ රැව් පිළිරැව් දෙනවා.” ඇය කියයි.

එමෙන්ම ජීවිතයේ ඇතිවිය හැකි ගැටලූ, පීඩනය, ජය පරාජය, දරාගැනීම්, අභියෝගවලට මුහුණ දීම්, මුදල් පරිහරණය, අවට ලෝකය හඳුනාගැනීම, සෘජු නිරවුල් චින්තනය, ඉතිහාසය, දේශාභිමානය, අනාගත නායකත්ව ගුණාංග, ඵලදායී පුරවැසිභාවය වැනි මාතෘකා පිළිබඳවද ඉතා සුන්දර, ආදරණීය හා අනුවේදනීය ලෙසත්, විවිධ ආකාරයේ ප්‍රකාශන ශෛලීන්වලින් ඇය අපූරුවට ඉදිරිපත් කරයි. “රසුමන්දි” “අප්පච්චි” “අප්-පිච්චා” “චන්දුතමී” “බුන්ටු” “බිංකා” “ට්වින්ක්ලින්කා” “කේන්ති කීයද” “විකුම්ගේ ලෝකය” “චූටිගේ සාප්පු සවාරිය” එවන් කිහිපයක් ලෙස සඳහන් කළ හැක.

“පුංචි දරුවෙකුට අපි ලස්සන සුරංගනා ලෝකයක් මවාදෙනවා වගේම, සැබෑ ලෝකයේදී නොවැටී සිටින්නට, අවශ්‍ය මානසික ශක්තියත් දිය යුතුයි” ඇය කියයි.

ඇගේ ළමා පොත්, දෙස් විදෙස් විශ්වවිද්‍යාලයන්හි අධ්‍යාපන මනෝවිද්‍යා පර්යේෂණ නිබන්ධනවලටද භාවිතකර ඇත. එමෙන්ම ඇමරිකානු මේරිලන්ඞ් විශ්වවිද්‍යාලය මගින් පවත්වාගෙන යන ජාත්‍යන්තර ඩිජිටල් පුස්තකාලයේද ලොව විවිධ රටවල වටිනා ළමා සාහිත්‍ය කෘති අතරට ඇගේ පොත් බොහොමයක්ද තෝරාගෙන ඇත. එමෙන්ම ශී‍්‍ර ලංකාවේ රාජ්‍ය සාහිත්‍ය සම්මානද ඇය කිහිප වතාවක් ලබා ඇත.

ලිවීමට හා ඇඳීමට අමතරව ඇය විසින් නිර්මාණය කරනලද අධ්‍යාපනික කාටූන් චිත්‍රපට තුළද ඇගේ සුවිශේෂ හැකියාවන් මනාව දැකගත හැක. 2013 දී එළිදැක්වූ” පිංචි ඇන්ඞ් ද ඇල්ෆබට්” “සෙල්ලම් පිල්ලම්” හා “සිංදු පීඩියා” ශී‍්‍ර ලංකාවේ මෙතෙක් දරුවන් වෙනුවෙන් බිහිවී ඇති සුවිශේෂතම නිර්මාණවලින් කිහිපයක් ලෙස හැඳින්විය හැක. ඒවායේ තිර රචනයෙන්, අධ්‍යක්ෂණයෙන්, ඉගෙනුම් ක්‍රමශිල්ප සැකසීමෙන්, ගායනයෙන්, චිත්‍රවලින්, සජීවීකරණයෙන්, තනු නිර්මාණයෙන්, දෙබස් හඩකැවීමෙන්, පරිගණක ශබ්ද තාක්ෂණයෙන්, ආදී විවිධ අංශයෙන් දායක වෙමින්, දරුවන්ගේ ළමා ලෝකයේ නොමැකෙන මතක සටහන් තැබීමට ඇය සමත් වී ඇත. මෙහිදී, සාම්ප‍්‍රදායික ඉගෙනුම් ක්‍රමශිල්පවලින් තරමක් බැහැරව, බහුමාධ්‍ය තාක්ෂණය සමඟ නවීනතම අධ්‍යාපන මනෝවිද්‍යා ක්‍රමශිල්ප සියුම්ව භාවිත කරමින්, ළමා සිත් චමත්කාරයෙන් පිරෙන අයුරින්, සැහැල්ලූ සංගීතමය විනෝදාත්මක ඉගැන්වීම් කලාවක් යොදාගෙන ඇත. එතුළින් දරුවන්ගෙන් ක්‍රමයෙන් ඈත්වෙමින් තිබුණු අපේ සිංහල භාෂාව දරුවන්ගේ නොමඳ ආදරයට පාත්‍රවීමද විශේෂත්වයකි. දරුවන්ට හරියටම ගැළපෙන සේ ඉතා ප්‍රභාශ්වර ලෙස එකිනෙකට වෙනස් සංකල්ප ගොඩනැගීමට ඇයට ඇත්තේ අපූරු හැකියාවකි. පර්යේෂණ මට්ටමින් තැනූ පිංචි අධ්‍යාපනික චිත්‍රපට දෙස් විදෙස් අධ්‍යාපනඥයින්ගේ හා මනෝ වෛද්‍යවරුන්ගේද විශේෂ පැසසුමට ලක්වූ අතර, එතුළින් දරුවන්ට ඉතා අසීරු අකුරු ඉගෙනුම් කටයුත්ත ඉතාම සාර්ථකව සිදුකෙරෙනු මනාව දැකගත හැක.

“අපේ දරුවන් අධ්‍යපනය සඳහා ලොකු කාලයක් ගතකරනවා. ළමාකාලය විඳින්න වෙලාවක් නෑ. දරුවන්ට ගැළපෙන නිසි ක්‍රමෝපායන් යොදාගන්නවානම්, ඉතා සැහැල්ලූවෙන් නිරායාසයෙන් ඉගෙනගැනීමට සැලැස්විය හැකියි. ඒ සඳහා නවීනතම අධ්‍යාපන මනෝවිද්‍යා ක්‍රමශිල්ප, ප්‍රහසනය, සෞන්දර්යය, බහුමාධ්‍ය හා නවීන තාක්ෂණය, ඵලදායීව භාවිත කර ඉගෙනීමට ගතවන කාලය ඉතා කෙටි කළහැකියි. මට ලොකු බලාපොරොත්තුවක් තිබුණා ප්‍රාථමික විෂයමාලාවල හැකි සෑම කොටසක්ම ඉගෙනීමට පහසු කතන්දර බවට පත්කරන්න. එතකොට ඉගෙනීම කාර්යක්ෂම වෙනවා. කාලය ඉතිරිවෙනවා. දරුවන්ට ඇති තරම් ඵලදායී ලෙස ළමාකාලය විඳින්න ඉඩ ලැබෙනවා.” ඇය කියයි.

ළමා කාලය

පුහුල්වැල්ල නම් වූ සුන්දර ගම් පියසේ මිත්තණියගේ නිවසේ උපන් ඇය, තම කුඩා කාලයෙන් වැඩිකොටස දෙමව්පියන්ද සමඟ එහිම ගතකළාය. කඳු මුදුනක පිහිටි නිවස, මල් පලතුරු පිරි වතුයාය, එපිටින් ගලා හැලූණු පුහුල් ඇල්ල, කුඹුරු යාය සහ දොළපාර, ඇයට සුරංගනා ලෝකයක් මවාලීය. “ඒ කාලෙ මට හිතුණෙ ඒ තමයි ලෝකෙ ලස්සනම තැන කියලා” ඇය කියයි.

සොයුරන් දෙදෙනෙකු අතර පවුලේ එකම දියණිය ලෙස හැදුණු වැඩුණු ඇයට, සොයුරන් මෙන් බෝලගැසීම ගස්නැගීම වැනි සෙල්ලම්වලට එතරම් උනන්දුවක් නොවීය. බෝනික්කන් සෙල්ලම් කිරීමට වෙන ගැහැණු ළමයෙකුද නොවූ හෙයින්, ඇය කුරුල්ලන්, සමනලයින්, දඩුලේනුන්, වත්ත පහළට එන මොණරුන් හා ගසින් ගසට පැන යන වඳුරු රංචු පසුපස යමින්, අවට පරිසරය නිරීක්ෂණය කිරීමට වැඩි කැමැත්තක් දැක්වූවාය. වත්තෙන් පිටට යාමටද අවසරයක් නොතිබුණු බැවින් ඇය වත්ත පුරා යමින්, සොබාදහමේ සියුම් රිද්මයන්, වර්ණයන් හා වෙනස්කම් ඉතා ආශාවෙන් නිරීක්ෂණය කළාය. සමහර විට ඇයද කුඩා සමනලයෙකු මෙන් ඔවුන් පිටුපස සැඟවී සිටි අතර, විටෙක කුඩා පරීක්ෂකයෙකු මෙන් සතුන්ගේ හඩ, වර්ණ, පියාපත් හා චර්යා රටාවන් අධ්‍යයන කළාය. සොබාදහමට බෙහෙවින් ආදරය කළ ඇය විටෙක නිවස පසුපස කඳු බෑවුමේ ඇති ගල් පඩිපෙළ මත ඉඳගෙන, කුඹුරු යාය, දොළ හා දිය ඇල්ල දෙස බලා ඉඳිමින්, ගී පද කතන්දර සෙමින් මිමිණුවාය. එපමණක් නොව පොත් පුරා, පිටු පුරා, කවි ගී කතන්දර ලියා, සමනලූන්ට, කුරුල්ලන්ට ඇසෙන සේ ඒවා කියවා, සුළගේ යැව්වාය. බිත්ති පුරා කුරුටු සිතුවම් ඇඳ විටෙක බැණුම්ද ඇසුවාය. කතන්දර කියවීමටද ඉතා ආශා කළ ඇය තාත්තා ගෙනැත් දුන් කතන්දර පොත් එක හුස්මට කියෙව්වාය. සමහර චීන හා රුසියානු සුරංගනා කතා කටපාඩම් වනතුරුම කියෙව්වාය. සීයා ඇයට ඉතිහාස කතාද කියාදුන්නේය. ඇය ඒවා විචිත්‍රවත් ලෙස සිතේ මවාගත්තාය. මිදුල පුරා, බිත්ති පුරා ඇද හැඩ බැලූවාය.

ප්‍රාථමික ගුරුතුමියක් වූ මිත්තණිය, ඇගේ විවිධ කලා හැකියාවන් හා උනන්දුව මුලසිටම සතුටින් නිරීක්ෂණය කළ නමුත්, එය ඇගේ අධ්‍යාපන කටයුතුවලට බාධාවක් වෙතැයි සිතා වැඩිදුර උනන්දු නොකළාය. අධ්‍යාපනයට මිස කලා කටයුතුවලට පවුලේද කිසිදු නැඹුරුවක් නොවූ අතර, අම්මා තාත්තා ඇතුළු සියලූ දෙනාම ඇගේ දස්කම් බලා බොහෝ සතුටට පත්වූ නමුත් ඇය කවදා හෝ සම්මානනීය නිර්මාණකරුවෙකු වනු ඇතැයි කිසිවිටෙකත් අනුමාන කළේ නැත.

අධ්‍යාපනය

බහතෝරන වියේදීම නිවසේ තිබුණු පොත්පත් සහ පුවත්පත් පිටු පෙරළමින්, ඇගේම භාෂාවකින් කියවන අයුරු දුටු මිත්තණිය, වයස අවුරුදු 2 ක් වීමටත් පෙර ඇයට අකුරු කියා දුන්නාය. යන්තම් ඇවිදින කල සිට මිත්තණියගේ අත එල්ලී පාසල් යාමටද ආශාකළාය. මූලික අධ්‍යාපනය පාසල් කිහිපයකම ලැබු ඇය, 5 වසර ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහළ ළකුණු ලබා විශාඛා විද්‍යාලයට ඇතුළත් වූවාය. ඇය දිගින් දිගටම සාහිත්‍ය හා චිත්‍ර කලාවේ නිරත වූ නමුත් සමීපතම මිතුරියන් හැර ඇගේ දක්ෂතා ගැන බොහෝ දෙනෙක් දැන සිටියේ නැත. පාසල් වියේදී දෙමව්පියන් විසින් ඇගේ ආශාවට පොත් කිහිපයක් මුද්‍රණය කර දුන් නමුත්, පාසැලේදී නිහඩ ලැජ්ජාශීලී සිසුවියක් වූ ඇය කිසි විටෙකත් ඇගේ නිර්මාණ ගැන කතා කළේද නැත. ඒවා වටින්නේ යැයි ඈ සිතුවේද නැත.

කුඩා කල සිටම විද්‍යා ගණිත විෂයන්ට ඇය දැක්වූ විශේෂ දක්ෂතාවන් නිසා, ඇගේ දෙමාපියෝ හා මිත්තණිය ඇයට විද්‍යා අංශයෙන් ඉහළ අධ්‍යාපනයක් ලබා දීමට බොහෝ බලාපොරොත්තු තබා හිටියහ. ඔවුහු, තම දියණියගේ කලාවට ඇති නොතිත් ඇල්ම නිසා ඇගේ අධ්‍යාපන සාර්ථකත්වයට හානියක් වෙතැයි බෙහෙවින් කනස්සල්ලට පත්වූහ. අවසානයේ එය එසේම වෙමින් උසස්පෙළදී දෙමව්පියන් බලාපොරොත්තු වූ ඉහළ ප්‍රතිඵල නොලැබිණි.

වෘත්තීය අධ්‍යාපනය

උසස් පෙළින් පසු දෙමව්පිය කැමැත්තෙන්ම බැංකුවෘත්තිය තෝරාගත් ඇය, ආර්ථික විද්‍යාව, කළමනාකරණය, ගණකාධිකරණය, නීතිය, ආදී විෂයන් ඇතුළත් වූ වෘත්තීය බැංකු විභාග සියල්ල (AIB-Sri Lanka)  සම්පූර්ණ කළාය. ඊට අමතරව මානව සම්පත් කළමනාකරණය පිළිබඳ උපාධියක්ද (BSc (Hons) in Human Resource Management), ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධියක්ද (MBA), වෘත්තීය ක්ෂේත්‍රයට අදාළව හිමිකරගත්තාය. ඉන්දියානු භරතනැටුම්ද ආශාවෙන් හැදෑරූ ඇය අරංගේත්‍රම් එළිදැක්මෙන් අනතුරුව භරතනාට්‍යම් විශාරදවරියක්ද (Visharad in Bharathanatyam) වූවාය. වෘත්තීය ක්ෂේත්‍රයන්ට අමතරව ඇය ගෘහ නිර්මාණ ශිල්පය, ළමා මනෝ විද්‍යාව, ළමා අධ්‍යාපන ක්‍රමශිල්ප, මනෝවිද්‍යා උපදේශනය, Neuro Linguistic Programming (NLP), සෞඛ්‍ය විද්‍යාව, පරිසර විද්‍යාව, ඉතිහාසය ආදී විෂයන් හැදැරීමද, සංගීතය, තෙල් සායම් චිත්‍ර, ලී කැටයම්, මෙන්ම සුප ශාස්ත්‍රය, මෝස්තර නිර්මාණය, ඇඳුම් මැසීම, ආදී ගෘහස්ථ කලාවන්ද ඇගේ පි‍්‍රයතම විනෝදාංශ අතර විය.

“මේ හැම කාලයකදීම, වෙලාවක් ලැබුණාම මම කතන්දර ලිව්වා. ආසාවට ලිව්වාට, ඒවා එතරම් වැඩක් ඇතැයි මම කවදාවත් හිතුවේ නෑ. ඒත් පස්සෙ ඒවාට ලැබුණු ආදරණීය ප්‍රතිචාර නිසා මට තව තවත් කතන්දර ලියන්න ආසා හිතුණා. පසුව මට දැනුණා එයින් ලොකු වෙනසක් කරන්න පුළුවන් කියලා. ඉතින් පුංචි කාලෙ, තාරකා විද්‍යාඥයෙක්, මනෝ විද්‍යාඥයෙක්, රහස් පරීක්ෂකයෙක්, සාගර ගවේශකයෙක්, සර්කස් කරුවෙක්, නැටුම් ගුරුතුමියක්, වෙන්න වගේ එක එක දේ හිතලා, අන්තිමට මටත් නොදැනීම මම වෘත්තීය කතුවරියක් බවට පත්වුණා.” ඇය සිනාසෙමින් කියයි.

ඇය පොත් ලියන තරමට මුද්‍රණය කිරීමට ප්‍රකාශන ආයතන මැළි වූ බැවින්, ඇය තම පියාගේද සහාය ඇතිව, ළමා සාහිත්‍යයටම වෙන්වූ ප්‍රකාශන ආයතනයක් ටිකිරි නමින් ආරම්භ කළාය. නිර්මාණ කටයුතු මිස කළමනාකරණ කටයුතු එතරම් ප්‍රිය නොකළ ඇය පසුව එහි කටයුතුවලින්ද, බැංකු වෘත්තියෙන්ද ඉවත්ව, පූර්ණ කාලීනව සාහිත්‍ය හා පරිගණක සජීවීකරණ කටයුතුවලම නියැළුණාය.

“මුලදී අකමැති වුණත්, පසුකාලීනව මගේ පවුලෙන් ලැබුණු සහයෝගය මට ලොකු ශක්තියක් වුණා. මේ දක්වා මා ආ ගමනේදී, මට වචනයකින් හෝ සහාය වූ, ධෛර්යමත් කළ හැමෝටම ස්තුතිවන්ත වෙනවා. මම දරුවන්ට ගොඩක් ආදරෙයි. ඔවුන්ට සතුට, දැනුම, හා යහගුණ දීම මට සතුටක්. කතුවරියක මෙන්ම දරුවන්ට නිර්මාණ කරන ශිල්පිණියක වශයෙන් මගේ වගකීම විය යුත්තේ මේ දරුවන් අනාගත ලෝකයට ගැළපෙන සේ, සානුකම්පිත, බුද්ධිමත්ව නිරවුල්ව සිතිය හැකි, වගකීම් සහගත, ආදරණීය පුරවැසියන් බවට පත්කිරීමයි. එවන් පිරිපුන් දරුවන් වැඩිපුර බිහිවීමෙන්, රටක් වගේම සමාජයත් ඉබේටම දියුණූ වෙනවා, සාමකාමී වෙනවා. ඒ සඳහා මගේ උපරිම උත්සාහය දරනවා.” ඒ ඇගේ බලාපොරොත්තුවයි.

සටහන – ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කුසුමා කරුණාරත්න  මිය

Shopping cart